සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ උරුමයන්ට එරෙහිව මතුව ඇති විවිධ තර්ජන හා අභියෝගයන්ට විරෝධය පළ කරමින්, ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ නියෝජනය කරමින් මෙම වැඩසටහන මෙහෙයවන බවයි.
වත්මන් රජය නිරාගමික මෙන්ම බෞද්ධ විරෝධී ස්ථාවරයක පිහිටා කටයුතු කරන බවට චෝදනා කළ උන්වහන්සේ, එවැනි නිරාගමික පාලකයන්ට කිසිසේත්ම මෙරට පාලනය කළ නොහැකි බවත්, ජාතිය සහ ආගම මුහුණ දී ඇති දැවෙන අර්බුදයන්ට විසඳුම් සෙවීම උදෙසා මෙම පියවර ගන්නා බවත් අවධාරණය කළහ.
එමෙන්ම, දැනට බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරගැනීම වෙනුවෙන් ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා සෘජුව මැදිහත් විය යුතු බවද උලපනේ සුමංගල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.
මෙම සියලු ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ශාසනික අරමුණකින් පමණක් සිදුකරන්නක් වන අතර, ඊට කිසිදු දේශපාලන අරමුණක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැති බවද උන්වහන්සේ වැඩිදුරටත් තහවුරු කළහ.
මාධ්‍ය හමුව අමතමින් එම සංවිධානයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා ද අවධාරණය කළේ, මෙම සත්යග්රහ වැඩසටහන පිටුපස කිසිදු දේශපාලන න්‍යායපත්‍රයක් නොමැති බවයි.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ‘මහජන කේන්ද්‍රය’ සංවිධානයේ විධායක අධ්යක්ෂ කැලුම් ජයසුමන මහතා ප්‍රකාශ කළේ, පසුගියදා පූජ්‍ය කස්සප හිමියන්ට යතුරුපැදි හිස්වැසුම්වලින් පහරදීමේ සිදුවීම ඇතුළු භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට විරෝධය පාමින් 11 වැනිදා පැවැත්වෙන මෙම සත්‍යග්‍රහයට තම සංවිධානය ද පූර්ණ සහයෝගය පළ කරමින් එක්වන බවයි.