රාජ්‍ය ආයතන 51ක් බිලියන 367ක දැවැන්ත ලාභයක් ලබයි – හිටපු ජනපති රනිල් විකුණන්න හැදූ ආයතනත් ඒ අතර

වත්මන් රජයේ මූල්‍ය විනය හේතුවෙන් මෙම වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 367 දක්වා වැඩිකර ගැනීමට හැකිවූ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ 2027 වසර සඳහා වන අය-වැය විවාදය සඳහා ඊයේ (19) එක් වෙමිනි.

එමෙන්ම එම ආයතනවල 2025 වසරේ මුල් මාස අට තුළ ලාභය රුපියල් බිලියන 307ක් බවත් එම ආදායම මෙම වසරේදී තවත් වැඩිකර ගැනීමට හැකිව ඇත්තේ පවතින මූල්‍ය විනය හේතුවෙන් බවත් ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම මෙම ආයතනවලින් බොහෝ ආයතන වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකිව විකිණීමට තීරණය කර තිබූ ආයතන බවද ඇමැතිවරයා පැවසීය.

මෙම ආයතන තුළ පරිපාලන, කළමනාකරණ වෙනස්කම් කරමින් සහ නාස්තිකාර වියදම් අවම කරමින් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් මෙම තත්ත්වය අත්කරගත් බවද ඇමැතිවරයා පැවසීය. බදු ආදායම බිලියන 4,252කට වැඩිකර ගැනීමටද ආණ්ඩුව සමත්වූ බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැති විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

“2048 වෙනකල් ආර්ථිකය හදන්න බැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. රට හදන්න, වැටුප් වැඩි කරන්න, මැතිවරණ පවත්වන්න මුදල් වෙන්කරන්න විදිහක් නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. එහෙම බංකොලොත් කරපු රටක් තමයි අපි භාර ගත්තේ. දේශපාලන වශයෙනුත් රට බංකොලොත් කරලා, රට නන්නත්තාර කරලා තමයි තිබුණේ. ඔය කතා කරන මහත්වරු එහෙම රටක් තමයි මේ රටේ ජනතාවට ඉතිර කර තිබුණේ. එවැනි රටක් භාරගත්ත අපි වත්මන් රජය යටතේ කෙටි කාලයක් තුළ පරිවර්තනීය වෙනසක් කර තිබෙනවා. මේ අය-වැය ලේඛන තුන දිහා නිවැරදිව බැලුවොත් අපගේ රට ක්‍රමානුකූලව ගොඩදාන ආර්ථික වැඩපිළිවෙළ විද්‍යමාන වෙනවා. එතනදී අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවකට එන්නට සිදු වුණා. අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, සියයට අනූපහක් මේ වනවිට අවසන්. කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ බංකොලොත්භාවයෙන් රට මුදා ගත්තා. පළමු වතාවට 2024 දෙසැම්බර් වනවිට ආර්ථික විද්‍යාත්මක දත්ත අනුව ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස්ව ඇති බව ලෝකයම පිළිගත්තා.

මුළු ලෝකය තුළම විශ්වාසයක් අපගේ රට සම්බන්ධයෙන් ඇති වුණා. ජපානය , චීනය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අපට ණය ලබා දුන්නා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් ණය ලබා දුන්නා. ආර්ථික වශයෙන් ලෝකය ගනුදෙනු කරන්න පටන් ගත්තා. සහනදායි ණය, ප්‍රදාන ලබා දෙන්නට පවා එම සංවිධාන කටයුතු කළා. තවත් බොහෝ දුර යාමට තිබෙනවා. ඒ සඳහා වන උපායමාර්ගික වැඩපිළිවෙළ තමයි මෙවර අය-වැය තුළින් ඉදිරිපත් කර තිබෙන්නේ. අපේ රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප පළමු අය-වැයෙන්ම වැඩි කළා. උද්ධමනය අපි සෘණ මට්ටමට ගෙනාවා. මැදපෙරදිග යුද්ධයක් තිබෙනවා. එය අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් එහි බලපෑම අපට තිබෙනවා. ලෝක තෙල්මිල, ගෑස්මිල වැඩිවුණා.

2025 වසරේ මුල් මාස 8 තුළ රාජ්‍ය ආයතන 51ක ලාභය බිලියන 307ක්. 2026 මේ වසරේ මුල් මාස 8 තුළ එම ආදායම බිලියන 367 දක්වා වැඩි කරන්නට පුළුවන් වුණා. ඒක තමයි පරිවර්තනය කියන්නේ. බංකොලොත් වෙලා පඩි ගෙවන්න බැරිව තිබූ රාජ්‍ය ආයතන ලාභ ලබන තැනට පත්වෙලා. සමහර ආයතන විකුණන්න තීරණය කර තිබුණේ. කෙටි කාලයක් තුළ අපි මේ ආයතන ලාභ ලබන තැනට පත් කළා.

ඒ වගේම බදු ආදායම් වැඩි කළා. අයි.එම්.එෆ්. එකත් බදු අයකර ගැනීම සඳහා ඉලක්කයක් ලබා දුන්නා. බිලියන 3,175ක. ඒත් අපගේ බදු ආදායම බිලියන 4,252කට වැඩි කරගන්න සමත්වුණා. මේ සියල්ලම කළේ රාජ්‍ය මූල්‍ය විනය නිසා.

මේ ආයතන ඇතුළේ පරිපාලන, කළමනාකරණ වෙනස්කම්, නාස්තිකාර වියදම් අවම කිරීම ආදි විවිධ ක්‍රමවේද අනුව මෙම ආදායම් අපි වැඩි කළා. රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආදි ආයතන කියන්නේ ආර්ථිකයේ හදවත. පහුගිය කාලේ මේ හදවත වැඩකළේ නැහැ. ලේ ගමනාගමනය සිදු වුණේ නැහැ. කෙටි කාලයක් තුළ ආර්ථිකයේ හදවත වැඩ කරන තත්ත්වයට අපි පත් කළා. කෙටි කාලයක් තුළ අපට පුළුවන් වුණා, මේ ආයතන ශක්තිමත් කිරීමට. බිම් මට්ටම දක්වා රාජ්‍ය ආයතනවල ආදායම් වර්ධනය කර ගැනීමට හැකිවුණේ වත්මන් රජයේ මූල්‍ය විනය නිසා. බංකොලොත් වුණ රටක් මේ ආකාරයට ශක්තිමත් කළේ ඒ ආකාරයටයි“ යනුවෙන්ද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *