රජයේ ආධාර මත ඉදිකළ තවත් නිවාස 3000ක් ලබන සතියේ ජනතා අයිතියට පත් කරයි

2026 වර්ෂය තුළ රජයේ ආධාර මත ඉදිකර අවසන් කළ නව නිවාස 3,000ක් නොවැම්බර් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු අතර, එය නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් 2026 වසර තුළ නව නිවාස 12,000ක් ඉදිකිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නැවත පදිංචි කිරීමේ අංශය මගින් මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ ඉදිකළ නිවාසවලින් බහුතරයක් මේ වන විටත් විවෘත කර ඇති අතර, ඉතිරි නිවාසවල ඉදිකිරීම් කටයුතු එළඹෙන දෙසැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස 3,000ක් නොවැම්බර් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා ජනතාව වෙත භාරදීමට සැලසුම් කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2026 වසරේදී ඉදිකිරීමට සැලසුම් කළ නිවාස 10,000 අතරින් “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියනයක ආධාර ලබාදී ඉදිකළ නිවාස 2,000ක් මෙලෙස විවෘත කිරීමට නියමිතය.

ඊට අමතරව, නැවත පදිංචි කිරීමේ අංශය මගින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල රුපියල් ලක්ෂ 20 බැගින් වූ ආධාර ලබාදී ඉදිකළ නිවාස 700ක් ද ජනතා අයිතියට පත් කෙරේ.

එමෙන්ම ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස හානි වූ පවුල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ආධාර මත ඉදිකළ නිවාස 300ක් ද මෙම වැඩසටහන යටතේ භාරදීමට නියමිතය.

නොවැම්බර් 23 සිට 27 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ වැඩිම නිවාස සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, එම සංඛ්‍යාව 365කි.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 300ක්, මඩකළපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 251ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් නිවාස 251ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 210ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 200ක් විවෘත කිරීමට නියමිතය. දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි අනෙකුත් නිවාස විවෘත කිරීම සිදු කෙරේ.

මෙම මාධ්‍ය හමුව සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතා ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *