ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් කරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (01) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කෙරේ.
ඒ සමඟම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් කරනු නොලැබේ.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මඟින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇත.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා, දූෂණ සඳහා අවස්ථාව අවම වීම ද මෙහි විශේෂත්වයකි.
ශ්‍රී ලංකා රේගුව 2025දී සිය ආදායම් ඉලක්කය අබිබවමින් රුපියල් බිලියන 2,231ක ආදායමක් රැස් කිරීමට සමත් වූ අතර, මෙම වසරේදී ගතවූ මාස 08 තුළදී ද සෑම මසකම තම අපේක්ෂිත ආදායම් ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට සමත්විය. නව ඩිජිටල් ක්‍රමවේදය සමගින් තවදුරටත් රේගු කටයුතු කාර්යක්ෂම වීම හරහා රේගුවේ ආදායම තවදුරටත් ඉහළ යනු ඇත.