වන වගා හා කෘෂිකාර්මික ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන නීතිවිරෝධි පිරමීඩ ජාවාරම්වලට නොරැවටෙන්නැයි මහ බැංකුව ජනතාවට, කලාකරුවන්ට සහ මාධ්‍යයට පෙරේදා (29) විශේෂ දැනුම්දීමක් කළේය.
කෘෂිකාර්මික හා වන වගා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන බව පවසමින්, මහජනතාවගෙන් නීතිවිරෝධි ලෙස මුදල් තැන්පතු ලබාගන්නා පිරමීඩ ආකාරයේ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
අතීතයේ පැවති ගෝල්ඩ්කෝස්ට්, සක්විති සහ දඬුවම් වැනි ජාවාරම්වලට සමාන යන්ත්‍රණයක් මෙහිදී ද ක්‍රියාත්මක වන අතර, මෙහි ඇති එකම වෙනස වන්නේ වන වගා හෝ කෘෂිකාර්මික වගා සඳහා මුදල් යොදවා ප්රතිලාභ දෙන බවට ප්‍රචාරය කිරීමයි.
වසරකට 100%කට ආසන්න අධික ප්රතිලාභ ලබාදෙන බවට මෙම ආයතන පොරොන්දු වන නමුත්, කෘෂිකාර්මික හෝ වන වගා ව්‍යාපාරයකින් පමණක් එවැනි අධික ලාභයක් ලබාදීමට කිසිසේත්ම නොහැකි බව මහ බැංකුව පෙන්වා දෙයි. මෙහිදී සිදුවන්නේ අලුතින් එකතුවන තැන්පත්කරුවන්ගේ මුදල් භාවිතයෙන් පැරණි තැන්පත්කරුවන්ට ප්රතිලාභ ලබාදීමයි.
අලුතින් තැන්පතු එකතුවීම අඩුවන විට මෙම පිරමීඩ ජාවාරම බිඳවැටෙන අතර, අවසානයේදී තැන්පත් කළ බහුතරයකට තමන් තැන්පත් කළ මුදල් පවා අහිමි වී යයි.
ජනතාව තවදුරටත් ආකර්ෂණය කරගැනීම සඳහා සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරණ කටයුතු 100%කින් පමණ ඉහළ ගොස් ඇත. මහජනතාවගෙන් ලබාගන්නා මෙම තැන්පතු මුදල් වගා සඳහා පමණක් නොව, සුපිරි වෙෙළඳසල් පවත්වාගෙන යාම, අලුතින් පුවත්පත් ආරම්භ කිරීම, සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යාම සහ ප්‍රසංග සංවිධානය කිරීම වැනි වෙනත් කටයුතු සඳහා ද යොදවා ඇති බව නිරීක්ෂණය වී තිබේ.
ඇතැම් සුපිරි වෙෙළඳසල් ජාල වෙත භාණ්ඩ සපයන සැපයුම්කරුවන්ට මුදල් නොගෙවා එම මුදල්ද වෙනත් ව්‍යාපාර සඳහා යොදවා ගන්නා බව හෙළිවී ඇත.
තැන්පත්කරුවන්ගේ මුදල් යොදවමින් සංවිධානාත්මකව කෙරෙන මෙම ජාවාරම් සඳහා කලාකරුවන්ට තෑගි බෝග සහ අනුග්‍රාහකත්වයන් ලබාදෙන බව නිරීක්ෂණය වී ඇති බැවින්, එවැනි අශුද්ධ මුදල් සහ තෑගි බෝග ප්‍රතික්ෂේප කරන ලෙස මහ බැංකුව ගෞරවනීය කලාකරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, යම් යම් මුදල් ලබාගනිමින් ඍජුව හෝ වක්‍රව මෙවැනි නීතිවිරෝධි පිරමීඩ ව්‍යාපාර ප්‍රචාරණය කිරීමට සහය නොදක්වන ලෙසත්, ජනතාව මුළීකරන මෙවැනි වංචාවලින් ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කෙරේ.
මහ බැංකුවේ අනුමැතියකින් තොරව මහජනතාවගෙන් නීතිවිරෝධි ලෙස තැන්පතු ලබාගන්නා ආයතනවල ගිණුම් තහනම් කිරීමට සහ අදාළ පනතේ ප්‍රතිපාදන අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව කටයුතු කරමින් සිටී.
මෙහිදී මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකකි:
1. මහජන ධනය සුරක්ෂිත කිරීම: මහජනතාවගේ මහන්සියෙන් උපයාගත් ධනය නීතිවිරෝධි සහ අවදානම් සහගත තැන්පතු මඟින් අහිමිවීම වැළැක්වීම.
2. තැන්පත්කරුවන්ගේ පාඩුව අවම කිරීම: ජාවාරමට හසුවූ තැන්පත්කරුවන්ට සිදුවන පාඩුව අවම කරගැනීමට සහ නීතිමය රාමුව තුළ හැකි උපරිම මුදලක් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම.
මේ සඳහා අදාළ ආයතන පිළිබඳව තොරතුරු දන්නා හෝ තැන්පතු කර ඇති පිරිස් වෙත ඉදිරිපත් වී මහ බැංකුව වෙත අවශ්‍ය තොරතුරු ලබාදී සහය වන ලෙස ඉල්ලා සිටී.
මහ බැංකුව විසින් කිසිදු ආකාරයක කෘෂිකාර්මික හෝ වන වගා ව්‍යාපාරයක් තහනම් කර නොමැති අතර, ඕනෑම අයකුට නීත්‍යනුකූලව වගා කටයුතු කළ හැකිය. මහ බැංකුව විසින් තහනම් කර ඇත්තේ නීතිවිරෝධි ලෙස මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගැනීම සහ එම ගිණුම් පවත්වාගෙන යාම පමණි. එම නිසා, මෙවැනි අධික ලාභ ලබාදෙන බවට පවසන නීතිවිරෝධි තැන්පතු ව්‍යාපාරවලට රැවටීමෙන් වළකින ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.