2025 වසරේ මුල් මාස අටට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අටේදී රාජ්ය අය-වැයේ රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එමෙන්ම මෙම මස 02 වැනිදා වන විට මෙරට විදේශ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.93 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ සංඛ්යාන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාව හෙළි කරයි. 2026 වසරේ මුල් මාස අට තුළ රජයේ මුළු ආදායම සහ අනුදාන සියයට 21.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4,002.3ක් දක්වා වර්ධනය වී ඇත. එම කාලසීමාව තුළ රාජ්ය වියදම් සියයට 6.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,966.9ක් ලෙස සටහන් විය. 2025 වසරේ මුල් මාස අටේ පැවැති රුපියල් බිලියන 411.0ක අය-වැය හිඟයට සාපේක්ෂව මෙවර මෙම රුපියල් බිලියන 35.4ක අතිරික්තය වාර්තා කිරීමට රජයට හැකි වී තිබේ. එසේම 2026 ජූනි අග වන විට මධ්යම රජයේ මුළු ණය ප්රමාණය රුපියල් බිලියන 31,278.43ක් ලෙස වාර්තා වේ.
2026 අගෝස්තු අග වන විට ශ්රී ලංකාවේ නිල විදේශ සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් (ඩොලර් බිලියන 6.93ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2026 මුල් මාස අට තුළ අපනයන ආදායම සියයට 3.3කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 9,377ක් වූ අතර, ආනයන වියදම සියයට 24.1කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 16,557ක් විය. ආනයන වියදම් මෙලෙස ඉහළ යෑම හේතුවෙන් වෙෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 7,180 දක්වා පුළුල් වී ඇත. තවද, 2026 ඔක්තෝබර් 02 වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 6.2කින් පිරිහීමට ලක්ව තිබේ.
මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.75 මට්ටමේ වෙනස් නොවී පැවැති අතර, වාණිජ බැංකුවල ප්රමුඛ ණය නිකුත් කිරීමේ බරිත සාමාන්ය පොලී අනුපාතිකය (AWPR) සියයට 11.04 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 2026 වසරේ දෙවැනි කාර්තුවේදී (Q2) ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එම කාර්තුව තුළ රැකියා විරහිතභාවය සියයට 4.0ක් ලෙස වාර්තා වී ඇත.