ඩ්‍රෝන ගෙනාවේ පුතාගේ සමාගමට, ලයිෂන් කල් පැනලා,ඒකයි අවුල – නලින් බණ්ඩාර කියයි

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගනු ලැබූ ඩ්‍රෝන යානා තොගය සිය පුත්‍රයාට අයත් සමාගමක් මඟින් ගෙන්වන ලද්දක් බවත්, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබූ අවසර පත්‍රයේ වලංගු කාලය ඉකුත්ව තිබූ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ප්‍රකාශ කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ බලපත්‍රයේ කාලය ඉක්මවා තිබුණ ද, එම ඩ්‍රෝන යානා ආනයනයට අදාළව අවශ්‍ය කෙරෙන සෙසු සියලුම නීත්‍යනුකූල ලියකියවිලි සහ බලපත්‍ර නිසි පරිදි සතුව තිබූ බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ඩ්‍රෝන යානා 39ක තොගය රේගු භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

පසුගිය 05 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි මෙරටට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා විය. 

ඔවුන් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ඔස්සේ පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, නිසි නිෂ්කාශනයකින් තොරව ගමන් මලුවල බහා රැගෙන ආ නවීන පන්නයේ ඩ්‍රෝන යානා සහ රැහැන් රහිත සන්නිවේදන මයික්‍රෆෝන තොගයක් මෙලෙස නිලධාරීන් භාරයට ගැනිණි.

මෙරට නීතියට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ වලංගු නිෂ්කාශන බලපත්‍රයක් මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඩ්‍රෝන යානා මෙරටට රැගෙන ඒම හෝ නිෂ්කාශනය කිරීම තහනම් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් රේගු බලධාරීන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

Source – lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *