රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් මුල් සතියේ ඇරඹෙයි

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන දෙසැම්බර් මස මුල් සතියේ ආරම්භ කිරිමට මහාමාර්ග හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා.

ඉදිකිරීම්වලට අදාළව දැනට ක්‍රියාත්මක වන ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය, මතුව ඇති තාක්ෂණික හා පරිපාලනමය ගැටලු මෙන්ම ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීම සිදු කර තිබෙනවා.

ඉඩම් හා දේපළ අහිමි වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ හිමිකරුවන්ට සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපරිම සාධාරණ වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි සඳහන්.

එමෙන්ම, මාර්ග ඉදිකිරීම් හේතුවෙන් අවතැන් වන පවුල් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්‍රදේශවාසීන්ගේ අනෙකුත් පොදු ප්‍රජා අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සැලසීම පිළිබවද නියෝජ්‍ය ඇමතිගේ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය භාර නිලධාරීන්, ඉඩම් අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC), තක්සේරු දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වුණා.

ඊට අමතරව, හෝමාගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීහු සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *