දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිදහස් කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් විශේෂ ක්රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.
බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස සහ මානුෂීය පදනම මත මෙම පියවර ගැනීමට යෝජනා වී ඇති බවත් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව 1,454 දෙනකු සිරගතව සිටින බවත් ඇමැතිවරයා ප්රකාශ කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළුතර දිස්ත්රික් මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව 421 දෙනකු ද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව 220 දෙනකු ද, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව 261 දෙනකු ද, රුපියල් 50,000ත් 100,000ක් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව 245 දෙනකු ද, රුපියල් ලක්ෂයට වැඩි දඩ මුදල් ගෙවාගත නොහැකිව 207 දෙනකු ද සිටින බව ඒ මහතා පැවසුවේය.
වයස් කාණ්ඩ අනුව වයස අවුරුදු 30ත් 34ත් අතර 423 දෙනකු ද, වයස අවුරුදු 40ත් 54ත් අතර 2,860 දෙනකු ද, වයස අවුරුදු 50ත් 64ත් අතර 1,561 දෙනකු ද, වයස අවුරුදු 60ත් 74ත් අතර 601 දෙනකු ද, වයස අවුරුදු 70ත් 80ත් අතර 150 දෙනකු ද, වයස අවුරුදු 80ට වැඩි 11 දෙනකු ද සිරගතව සිටින බව ඇමැතිවරයා පැවසුවේය.
වයස අවුරුදු 70ට වැඩි තනිව නැඟී සිටීමට හෝ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන මහලු සිරකරුවන් සම්බන්ධයෙන් මානුෂීය පදනමින් කටයුතු කිරීමේ අවශ්යතාවක් පැවතිය ද, වයස පදනම් කරගෙන පමණක් සිරකරුවන් නිදහස් කිරීමට නෛතික ප්රතිපාදන නොමැති බවත් වෛද්ය මණ්ඩල වාර්තා සහ නිර්දේශ මත පදනම්ව රෝගීභාවයෙන් පසුවන වැඩිහිටි සිරකරුවන් නිදහස් කිරීමේ ක්රමවේදය ඉදිරියේදී මීට වඩා සක්රිය කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.
වසර ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් අභියාචනා සඳහා යොමු වූ විට, නැවත තීන්දුව තහවුරු වුවහොත් ඔවුන් මුල සිට නැවත සිරදඬුවම් විඳීමට සිදුවීමේ ගැටලුව කෙරෙහි ද අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා නීති සංශෝධනයක් ඔස්සේ විසඳුම් සෙවීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්රකාශ කළේය.