ජනතාවට පරුෂ වචනයෙන් බනින පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න පොලිස්පතිගේ අවධානය

ජනතාව සමග කටයුතු කිරීමේදී පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැනවදින පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ කිසිදු පුද්ගලයකුට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කිරීමට පොලිස් නිලධාරීන්ට අවසරයක් නොමැති අතර එය සදාචාර සම්පන්න නොවන බවය.

එවැනි පැමිණිල්ලක් ලැබුණ හොත් ඒ පිළිබදව විමර්ශනයක් කිරීමට පොලිසිය පසුබට නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නීතිය හා සාමය සුරකින පොලිසිය සහ මහජනතාව අතර මනා සබදතාවක් මෙන්ම විශ්වාසයක් පැවැතිය යුතු අතර සමහර පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව පිළිබදව ජනතාව අතර පවතින විශ්වාසය පලුදුවී ඇති බව ජනතාව කියති.

සාමාන්‍ය පුරවැසියන්ගේ ආත්මාභිමානය රැකගැනීමත් පොලිසියේ ගෞරවය රැකගැනීමත් උදෙසා මෙම පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *