හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව පවරන ලද බාල බෙහෙත් නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (04) අවසන් විය.
සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු ලබන 25 වැනිදාට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු මඬුල්ල, 30 වැනිදා වාචික දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයට නියෝග කළේය. එම දේශන අවසන් වීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් මාලක වීරසූරිය සහ පී.එම්. බණ්ඩාර යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුවිය.
මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් ලෙස සලකා මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් අනුව අගවිනිසුරුවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලදි.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යවහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කරනු ලැබ තිබේ.
සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ අනුබල දීම ඇතුළුව 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
අධිචෝදනා පත්‍රයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර තිබුණු අතර, නඩු විභාගයේදී ඉන් සාක්ෂිකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවකගේ සාක්ෂි විමසීම සිදුවිය. පැමිණිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි විමසීම සිදුවූ අතර එහිදී සියලු චුදිතයෝ විත්ති කූඩුවේ සිට සාක්ෂි දුන්හ.
මෙයට අමතරව විත්තිය අමතරව සාක්ෂිකරුවන් 7කට ආසන්න පිරිසක් ඉදිරිපත් කළහ.
මෙහි පළමු විත්තිකරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා වන අතර, ‘අයිසුලේට් බයෝටෙක් ෆාර්මා’ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරුන් වන වෛද්‍ය කපිල වික්‍රමනායක සහ වෛද්‍ය ඒ. තුසිත සුදර්ශන, හිටපු සහකාර අධ්යක්ෂ ශාන්ති සොලමන්, හිටපු ගණකාධිකාරී නෙරාන් ධනංජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.එම්. ධර්මසිරි රත්නකුමාර හේරත් සහ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන 12 දෙනා විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
9 වැනි විත්තිකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය අධිකරණය මඟහරිමින් සිටින බැවින් ඔහු නොමැතිව නඩුව විභාග වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ නඩු 19ක් මේ වන විටත් විභාග වෙමින් පවතී. තමා මේ වන විට ඩිමෙන්ෂියාව, මානසික පීඩනය, දියවැඩියාව සහ ආතරයිටිස් ඇතුළු රෝග රැසකින් පීඩා විඳින බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.