මන්නාරම තෙල් නිධි සෙවීමේ පෞද්ගලික අංශ ව්‍යාපෘතියේ සේවය කළ විදේශීය ඉංජිනේරුවන් හෙලිකොප්ටර් මඟින් ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් යෙදවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක හා විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (04) ප්‍රකාශ කළේය.
විදේශීය සමාගමක් හා එක්ව තමාට අයත් පෞද්ගලික සමාගමක් මෙම කැණීම් ව්‍යාපෘතිය පවත්වාගෙන ගිය බව විත්තිකරු මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය. එම ව්‍යාපෘතියේ නිරත ඉංජිනේරුවන් ගොඩබිම සිට මුහුදේ පිහිටි කැණීම් ස්ථානය වෙත රැගෙන යෑමට මෙන්ම, නැවත ගොඩබිමට ප්‍රවාහනය කිරීමට මෙලෙස ගුවන් හමුදා නියමුවන් යොදවා තිබූ බව හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ වසර තුනක් තුළදී උපයාගත් ආකාරය හෙළිදරවු කළ නොහැකි රුපියල් කෝටි 34කට අධික මුදලක් සමාගම් ගිණුම්වල තැන්පත් කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම ඇතුළු චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු ඊයේ (04) විත්තියේ සාක්ෂි විමසීම ආරම්භ විය. එහිදී චුදිත විත්තියේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්නේය.
1992 වසරේ සිට වසර 8කට ආසන්න කාලයක් තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ බවත් ඉන්පසු 2001 වසරේ සිට වසර 15ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරකවරයා ලෙස සේවය කළ බවත් කියා සිටියේය. මෙම කාලයේදී කොස්මෝස් සමූහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එයට සමාගම් 17ක් පමණ අයත් බවත් ඒවා සියල්ලේම නම් තමන්ට නැති බවත් විත්තිකරු පැවසීය. මෙම සමාගම් සමූහය ආරක්ෂක සේවා, සන්නිවේදන, ගෘහස්ථ හෙද සේවා, පුවත්පත් සහ ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් බව කියා සිටියේය.
මන්නාරම් මුහුදු තීරයේ තෙල් සහ ගෑස් ගවේෂණයේ නිරත වූ විදේශීය ඉංජිනේරුවන් ප්‍රවාහනය කිරීම සඳහා කොස්මෝස් ඒවියේෂන් සමාගම හරහා ‘ග්ලෝබල් වෙක්ටර්’ ජාත්‍යන්තර සමාගම සමඟ එක්ව ‘බෙල් 412’ වර්ගයේ හෙලිකොප්ටරයක් කුලී සින්නක්කර පදනම මත ලබා ගත් බව පැවසීය. වාණිජමය කැණීම් කටයුතු සඳහා වූ රක්ෂණ කොන්දේසි හේතුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිත කිරීමට නොහැකි බව පැවසීය. ඒ නිසා පෞද්ගලික හෙලිකොප්ටරයක් ගෙන විශේෂ අවසරයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ගත් බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තමාට අයත් සියලු සමාගම්වල කොටස් බිරියට පවරා අධ්යක්ෂ ධුරවලින් ඉවත් කර සමාගම් අතර මුදල් ප්‍රවාහ කළමනාකරණය වෙනුවෙන් උපදේශකයකු ලෙස පමණක් කටයුතු කළ බව කියා සිටියේය.
එක් සමාගමක අතිරික්ත මුදල් අනෙක් සමාගම්වලට චෙක්පත් හෝ මුදල් ලෙස ලබා දෙමින් අභ්‍යන්තර මුදල් මාරු කළ බව විත්තිකරු වැඩිදුරටත් කියා සිටියේය. එහිදී වෙනම රිසිට්පත් නිකුත් කිරීමක් නොකළ බවත් සියලු ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් වූ බවත් සඳහන් කළේය.
පැමිණිල්ල, සමාගමේ සේවකයකු මඟින් මෙම මුදල් හුවමාරු සනාථ කිරීමට රිසිට්පත් ඉදිරිපත් කළත් තමා ඒවා මුල්වරට උසාවියේදී දුටු බවට සාක්ෂි දුන්නේය.
තමාට අයත්ව තිබූ සමාගමේ උපදේශක සේවා වෙනුවෙන් වැටුප් නොලැබූ බවත් ඒ වෙනුවට විටින් විට ණය ගත් බවත් සාක්ෂිකරු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2010 සිට 2015 දක්වා සියලු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ බවත්, එහි ඇමුණුම් මඟින් සිය බිරියගේ වත්කම් සහ මෙම සමාගම් පිළිබඳ විස්තර ඇතුළත් කළ බවත් පැවසීය.
මෙම කාලය තුළ එක් වසරක පමණක් වත්කම් වගකීම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමට නොහැකි වූ බව සාක්ෂිකරු පැවසූ අතර එයට හේතුව අධිකරණය විමසා සිටි අවස්ථාවේ එම වසරේ දින 182ක් පමණ විදේශගතව සිටි නිසා වත්කම් වාර්තා ඉදිරිපත් කළ නොහැකි වූ බව පැවසීය.
2011 මාර්තු 31 වැනිදා සහ 2014 දෙසැම්බර් 23 වැනිදා අතර කාල සීමාව තුළදී රුපියල් 339,581,965.80ක මුදලක් අදාළ සමාගම නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කිරීම හෝ තැන්පත් කරවීම මඟින් සෘජුව හෝ වක්‍රව මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ චුදිතට එරෙහිව නඩු පවරා තිබේ.
එකී මුදල් නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් සෘජුවම හෝ වක්‍රව ලත් මුදලක් බව දැනුවත්ව හෝ දැනගැනීමට සාධාරණ හේතු තිබියදී ක්‍රියා කිරීම මඟින් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 3(1) වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.