කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපාන අයුරින් කාණු හා ජලාපවහන පද්ධති අවහිර වන සේ සිදුකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.
කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය ශ්රී වික්රම මාවත සහ බිමෙල්වත්ත පාර ආශ්රිතව කාණු පද්ධති අවහිර කරමින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් දැනටමත් කඩා ඉවත් කිරීමට පියවර ගත් බවයි.
මීට අමතරව, නගරය පුරා ජලය බැසයාමට බාධා වන පරිදි හඳුනාගෙන ඇති සෙසු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වයන් වෙත වහාම ක්රියාත්මක වන පරිදි නිල නිවේදන නිකුත් කර ඇති බව හෙතෙම පැවසීය.
නගරය තුළ නිරන්තරයෙන් හටගන්නා ක්ෂණික ජල ගැලීම් පාලනය කිරීමේ අරමුණින්, ජලාපවහන පද්ධතියට බාධා පමුණුවන සියලු අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට නගර සභාව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.