හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකට එරෙහිව රිය අනතුරු නඩුවට අදාළව දීර්ඝ කාලයක් විදේශ ගතව සිටීම නිසා මෙතෙක් කැඳවීමට නොහැකි වූ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පෙරේදා(19) සාක්ෂි ලබා දුන් බවට වාර්තා වී තිබෙනවා.
කොළඹ මහාධිකරණය හමුවේ ඔහු මෙලෙස සාක්ෂි ලබා දුන් බව සඳහන්.
පැමිණිල්ලේ දෙවෙනි සාක්ෂිකරු වන සිද්දික් මොහොමඩ් සුෆයිස් නැමැත්තා ජර්මනියේ සිට ශ්රී ලංකාවට පැමිණ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා.
මෙම නඩුව පවරා ඇත්තේ 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා රාජගිරියේ ජනාධිපති විදුහල ආසන්නයේදී WPKT-7545 දරණ සුඛෝපභෝගී මෝටර් රථයේ වැදී සංදීප් සම්පත් නැමැති තරුණයා අනතුරට පත් කිරීම සහ ඊට අදාළ තොරතුරු වසන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේයි.
හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකට අමතරව මෙහි සෙසු විත්තිකරුවන් වන්නේ අනතුරු සිදු වූ සමයේ වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ අනතුර සිදු වූ අවස්ථාවේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන අය බව සඳහන්.
අනතුර සිදු වන අවස්ථාවේ තමන් ගමන් කළේ සංදීප් සම්පත් ගමන් ගත් යතුරුපැදියට මීටර් 50ක් පමණ පසුපසින් බවත් කළුපාට ජීප් රථයේ ගැටීමෙන් පසු ඔහු එතැනම බිම වැටුණු බවත් මෝටර් බයිසිකලයේ සිටි අනිත් තැනැත්තා විසිවී ගොස් අනිත් පැත්තට වැටුණු බවත් සාක්ෂිකරු කියා සිටියා.
ඔහු අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ අනතුර සිදු කළ ජිප් රථය සරණ පාර දෙසට හරවා ගමන් කර බොරැල්ල දෙසට යන විට පාර හරස් කර අදාළ ජීප් රථය නැවැත්වීමට හැකි වූ බවයි.
තමා සමග සිටි අනිත් තැනැත්තා ජිප් රථයේ ඉදිරිපස දොර විවෘත කර එහි රියදුරුට පහරදීමට උත්සහ කළ විට “ ගහන්න එපා මම ඇමති චම්පික රණවක” යනුවෙන් රියදුරු අසුනේ සිටි තැනැත්තා පැවසූ බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා.
අනතුර සිදු වීම
2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනි දින WPKT 7545 දරන ජීප් රථයේ රියැදුරුව සිටිමින් රිය ධාවනය කරමින් අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්රියා මඟින් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකර පලා යෑම, අනතුරට ලක් වූ තැනැත්තා පිළිබඳව නොසැලකීම, වේගය පාලනය කර ධාවනය නොකිරීම, නිසි ලෙස සෝදිසියෙන් රිය නොපැදවීම යන කරුණු සම්බන්ධයෙන් මෝටර් රථ වාහන ආඥා පනතේ 149, 216 සමඟ කියවිය යුතු 224, 161(4) (ආ), 214 සමඟ කියවිය යුතු 224 හා ලංකා දණ්ඩ නීති සංග්රහයේ 329 වගන්ති යටතේ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
එසේම හිටපු අමාත්ය පාඨලී චම්පික, ඔහුගේ රියැදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අයට එරෙහිවද නීතිපතිවරයා විසින් තවත් නඩුවක් මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.
අදාළ දිනයේ දී, අමාත්ය පාඨලීට අයත් වාහනයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට තුවාල සිදු වූ බවට චෝදනා එල්ල වුණා.
මෙම අනතුරින් යතුරු පැදිය පැදවූ මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් වූ සංදීප් සම්පත් නැමැති තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදු වූ අතර එම යතුරු පැදියේම පිටුපස ගමන් කළ කොළඹ 5 ප්රදේශයේ පදිංචිකරුවෙක් වූ එම්. අබේසුන්දර නැමැත්තාගේ අතක් බිඳී ගොස් තිබුණා.
ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙක්
මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන ගයාෂාන් විනුර සහ මොහොමඩ් සුෆයිස් යන දෙදෙනා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට දිවුරුම් ප්රකාශ දෙකක් ඉදිරිපත් කරනු ලැබුවා.
එවකට පොලිස් මාධ්ය ප්රකාශකව සිටි සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සිලෝන් ටුඩේ වෙත පවසා තිබුණේ සාක්ෂිකරුවන් දෙදෙනා නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ සිකුරාදා සවස පොලිස් මූලස්ථානයට පැමිණ, ඔවුන් කලින් සකස් කළ ලිඛිත ප්රකාශ දෙකක් පොලිස් මූලස්ථානයට ලබා දුන් බවයි.
“දිවුරුම් ප්රකාශ දෙක ලැබුණු වැඩබලන පොලිස්පතිවරයා, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා එය බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා වෙත යවනු ඇත. විමර්ශන අතරතුර, පොලිසිය විසින් අවශ්ය ක්රියාමාර්ග ගනු ඇත,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසූ බවට වාර්තා වී තිබෙනවා.
මූලාශ්රය – නිව්ස් 19