විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? – අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා – ඇමති නලින්ද ජයතිස්ස

කිසිඳු කුමන්ත්‍රණකාරී බලවේගයකට ජාතිවාදය හා ආගම්වාදය පදනම් කරගනිමින් රට තුළ නැවත බෙදීමක්, අසමඟියක්, අස්ථාවරත්වයක් ඇති කිරීමට ඉඩ නොතබන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද(27) පැවති කැබිනට් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහය පිටුපස සිටියේ කුමන කණ්ඩායම්ද , එමෙන්ම එම කටයුත්තට මුදල් සම්පාදනය කළ පාර්ශ්වයන් කවුරුන්ද, එම සත්‍යග්‍රහයට පිරිස් රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව රජයට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මෙම සිදුවීමට අදාළව පැමිණිලි පොලීසියට ලැබී ඇති බවත් ඒ පැමිණිලි සම්බන්ධව විමර්ශන පොලීසිය විසින් නුදුරේදීම සිදු කරන බව නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍යව තිබුණේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා යම් අවධානයක් තමන් වෙතට ආකර්ෂණය කර ගැනීම බවයි.

මෙවැනි සිදුවීම්වලට අනවශ්‍ය අවධානයක් දීමට ගියහොත් රට ඉදිරියට ගෙන යෑමට රජයට හැකියාව නොලැබෙන බව ඔහු පැහැදිලි කළා.

වැඩිදුරටත් අදහස් පළකළ නලින්ද ජයතිස්ස මහතා

“ විහාර මහා දේවියේ සිට කින්ස්බරිය  දක්වා සියල්ල. දැන් ඔය මහනුවර ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයටත් එතනින් එහා විහාර මහා දේවියටත් එතනින් එහා කින්ස්බරිය ආපු සමස්ත සිදුවීමේ කොහේවත් හංගන්න දෙයක් ඉතුරු කරේ නෑ මම හිතන්නේ.

පටන් ගත්ත තැන ඉඳලා සෝෂල් මීඩියාවල ලයිව් දුන්නා, චැනල් වල ලයිව් දුන්නා, පින්තූර දැම්මා වොයිස් කට් දුන්නා ඒ නිසා මම හිතන්නේ එහෙම කවුරුවත් හංගන්න බලාගෙන කරපු දෙයක් නෑ කියලා. සියල්ලම මාධ්‍යයට නිරාවරණය වෙලා තිබුණේ. සියල්ලම මාධ්‍යයට නිරාවරණය කළා. කොහොමත් එහෙම තමයි මේ යුගයේ. මොකක්වත් හංගගෙන කරනවා කියලා එකක් නෑ. විහාර මහා දේවියේ තිබුණ දේවල් එළියට එන එක ප්‍රශ්නයක් නොවුණා නම් කින්ස්බරියේ  එළියට ආපු එක ප්‍රශ්නයක් කරගන්න හේතුවක් ඇත්තෙම නෑ. සාමාන්‍ය දේවල්.

මම හිතන්නේ ඒ ගැන රජය වැඩිපුර අවධානය යොමු කරන්නේ නැහැ. එතන නමුත් කවුද කතා කරේ, මොන කුමන්ත්‍රණයක් සිදු වුණාද වගේ දේවල් අපි අවධානය යොමු කරන්නේ නෑ. මෙයින් පෙන්නුම් කරන්නේ වෙන මොකුත් නෙමේ ඉතින් ඔය ඇත්තටම ඕනිකම තියෙනවා ඒගොල්ලන්ට මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල ඉඩක් වෙන් කරගන්න. ඉතින් එක එක දේවල් කියනවා. අපි ඔක්කොටම උත්තර දෙන්න ගියොත් ඉතින් ආණ්ඩුවක් කරගෙන යන්න හම්බවෙන්නේ නැහැ. රට ඉස්සරහට අරගෙන යන්න හම්බවෙන්නෙත් නැහැ.

ඒ ගැන උත්තර දෙනවා වෙනුවට මේ සිදුවීම පිළිබඳව තමයි අපි අවධානය යොමු කරනවා මොකක්ද මෙතන වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වුණාද කියන එක. ඒ සම්බන්ධයෙන් සමහර පැමිණිලි ලැබිලා තියෙනවා. ඒවාට පරීක්ෂණ පොලීසියෙන් කරාවි. නොසලකා හරිනවා කියන එක නෙවෙයි. එවැනි සිදුවීම් ගැන නෙවේ කොයි වෙලාවකවත් මේ වසර දෙක තුළදීම අපි ජාතිය හෝ ආගම පදනම් කරගෙන කිසිඳු කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට යළිත් මේ රටේ බෙදීමක්, අසමඟියක්, අස්ථාවරත්වයක් නිර්මාණය කරන්නට අවස්ථාව සලසන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *