ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති රාජාංගනේ සද්ධාරතන හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
තමන්ගේ හිස හත්කඩකට පැලුවත් හොරුන්ට මේ රට ලබා දීමට තමන් පණ පිටින් සිටින තාක් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, යළිත් කිසිවෙකු හෝ අනවශ්‍ය ලෙස හැසිරීමට උත්සාහ කළහොත් තමන් නැවතත් පැමිණෙන බවත් උන්වහන්සේ එහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත. තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් හිසට මැහුම් 14ක් දමා ඇති බවත්, තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළ නමුත් පෙර පිනකට ජීවිතය බේරුණු බවත් සඳහන් කරන සද්ධාරතන හිමියන්, තම ජීවිතය තවදුරටත් අනතුරේ පවතින බැවින් හැකිනම් ආරක්ෂාව ලබා දෙන ලෙසත් තමන් සැමවිටම ජනාධිපතිතුමා සමඟ සිටින බවත් ප්‍රකාශ කර තිබේ.
අනුරාධපුර පිංබිම පිරිසිදු කළ අනුරපුර සමන් ප්රමුඛ තරුණයන්ට සිය හෘදයාංගම පුණ්‍යානුමෝදනාව පුද කරන බව උන්වහන්සේ සඳහන් කර ඇත. තවද, තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට, අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම ආරක්ෂක අංශවලට, දානය ගෙනැවිත් දුන් පිරිසට මෙන්ම දුරකථන ඇමතුම් ලබා දුන් දහස් ගණනක් දෙනාට ද සද්ධාරතන හිමියන් සිය ස්තූතිය පළ කර තිබේ.
මීට අමතරව, සමාජ මාධ්‍ය තුළ අවංක අදහස් පළ කරමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සැමට, විදෙස් මිතුරන්ට, චතුරංග මහතාට, තමන් වෙනුවෙන් හඬ නැඟූ සමාජ මාධ්‍ය හිමිකරුවන්ට මෙන්ම තමන් වෙනුවෙන් අදහස් පළ කළ මිතුරන් සහ සතුරන් ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කරන බවත්, දිවිහිමියෙන් අහිංසක ජනතාව වෙනුවෙන් කැපවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.