කිසිඳු නිලධාරියෙක් ආරක්ෂා කරන්නේ නෑ,හෝමාගම තරුණයා මිය යෑම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

කිසිදු නිලධාරියෙකුට විශේෂයෙන් ආරක්ෂා කිරීම සඳහා පොලීසිය කිසිවිටෙකත් කටයුතු නොකරන බවත්, යම් නිලධාරියෙකු වැරදි නම්, අනීතික නම්, සමාජ විරෝධී නම් හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව මෙන්ම විනයානුකූලව දැඩිව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුවේදී, පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

හෝමාගම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට පූර්ණ පරීක්ෂණයක් සහ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සිද්ධියට පෙර දින, සිදුවූ දින සහ පසුදින යන සියලුම සාක්ෂි සටහන් කර ගනිමින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒවා මෙහෙයවීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ, ආඥා පනතේ 125 වන වගන්තිය යටතේ විශේෂ විමර්ශන කණ්ඩායමකට (බස්නාහිර පළාත් දකුණු කොට්ඨාශයේ විශේෂ කණ්ඩායමක්) මෙම විමර්ශනය පවරනු ලැබ ඇත.

මෙම සිදුවීමට සමඟාමීව හොමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීම, වැටලීම් සඳහා සහාය වූ මත්ද්‍රව්‍ය අංශයේ (Vice OIC) නිලධාරියාගේ වැඩ තහනම් කිරීම සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීම සිදු කර ඇති බව ඒ මහතා පවසයි.

කොළඹ දකුණු කොට්ඨාශයේ විමර්ශන ප්‍රතිඵල මත මෙම මරණය සම්බන්ධයෙන් එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නෛතික කටයුතු ක්‍රියාත්මක කෙරේ.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිතුමා විසින් නිරන්තරයෙන් මඟ පෙන්වීම් සිදු කළද, ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි දේ සිදුවන බවත්, මින් ඉදිරියට එවැනි දේ වළක්වා ගැනීමට කටයුතු කරන බවත් වුට්ලර් මහතා අවධාරණය කළේය.

මේ අතර, කොබේගනේ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ගස් බැඳ සිටි අයෙකු පිළිබඳව ලැබුණු තොරතුරක් මත පොලීසිය ගොස් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවත් පසුව ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බවත්ය.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකු විසින් සැකකරුට පහරදී ඇති බවට ලැබුණු තොරතුරු මත සිවිල් වැසියන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන්ද කොට්ඨාශ භාර නිලධාරියාගේ සහ මහව සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම, ත්‍රිකුණාමල පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනෙකුට සිදුව ඇති කැපුම් තුවාල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයට පිළිතුරු දෙමින්, ඒ පිළිබඳව කොට්ඨාශ භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, එය ලැබුණු පසු ඒ ගැන දැනුම් දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *