තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට සූදානම් නෑ – ජනපති අනුර මහ සඟරුවනට කියයි

නීති තිබියදී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමා සූදානම් නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහා සංඝ රත්නයට පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, බරපතල වැඩ ඇතිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ගලගොඩ අත්තේ ඥාණසාර සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට පැමිණ සිටි මහා සංඝ රත්නය හමුවේ ය.

ඥාණසාර හිමියන් සිවුර ගලවා, සුදු පැහැති ගිහි ඇදුමකින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක තත්ත්වය නිර්මාණය වී තිබුණි.

කෙසේ වෙතත්, භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා මහා සංඝ රත්නයට පවසා තිබේ.

නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහිදී භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා මහා සංඝ රත්නයට පෙන්වා දී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *