අපරික්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදුකොට සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගයේ අවසන් දිනය දෙසැම්බර් 15 දා පැවැත්වීමට කොළඹ මහාධිකරණය ඊයේ (25) දින නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ චුදිතට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුව ඇති බවට වෛද්‍ය සහතිකයක් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළේය. ඒ අනුව විත්තිකරු නොමැතිව නඩුවේ ඉදිරි කටයුතු සිදුවූ අතර විත්තිය ඉල්ලා සිටි ලේඛන සමහරක් පැමිණිල්ල විසින් භාර දෙන ලදි. 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල ආසන්න මංසන්ධියේදී අපරික්ෂාකාරී ලෙස ඩබ්ලිව්.පී.කේ.ටී.-7545 දරණ සුඛෝපභෝගී රථය පදවා, සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුර සිදුකොට වාහනය නොනවත්වා ධාවනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව චෝදනා තුනක් ගොනු කර ඇත. පළමු චෝදනාව දණ්ඩ නීති සංග්‍රහයේ 329 වගන්තිය සහ මෝටර් රථ ආඥා පනතේ 151 වගන්තිය යටතේ එල්ල කර තිබේ.
දෙවැනි චෝදනාව මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iii) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන අතර, ඒ සඳහා වන දඬුවම් පනතේ 214 හෝ 224 වගන්ති යටතේ පැනවිය හැකි බව පැමිණිල්ල පෙන්වා දුන්නේය.
තුන්වැනි චෝදනාව එල්ල වී ඇත්තේ මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iv) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. මෙම වරද සඳහා වන දඬුවම් වගන්තිය ලෙස පනතේ 161(1)(අ)(v) හෝ 214 වගන්තිය ක්‍රියාත්මක වන බව පැමිණිල්ල අධිකරණයට සැලකර සිටියේය.
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු දෙකක් විභාග වන අතර, ඊයේ දින කැඳවනු ලැබුවේ රිය අනතුර පොලීසියට දැනුම් නොදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවයි. අනෙක් නඩුව පවරා ඇත්තේ අනතුර පිළිබඳ සැබෑ කරුණු සඟවා තබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැතිවරයා ඇතුළු තැනැත්තන් තිදෙනකු නම්කර තිබේ.
මෙම නඩුව පවරා ඇත්තේ මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් වාහනයක් මඟින් රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් වන අතර අදාළ කාලයේ එම රථය භාවිතකර ඇත්තේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකය.
ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.