ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ සිට ‘B-/B’ දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.
අද (27) නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ද ‘C’ සිට ‘B’ දක්වා ඉහළ නංවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුවද විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යාම මෙම තීරණයට බලපෑ ප්‍රධාන කරුණු අතර වන බවයි S&P Global Ratings පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වන අතර, ණය සේවාකරණය සම්බන්ධයෙන් රජයට පවතින අවදානම් සැලකිය යුතු ලෙස අඩු වන බවද එම ආයතනය සඳහන් කරනවා.
ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ පවතින බාධා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දෙන මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බැවින් ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවත්වාගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, රජයේ මූල්‍ය සහ විදේශීය තත්ත්වයන් සැලකිය යුතු ලෙස දුර්වල වී මූල්‍යකරණ සහ ද්‍රවශීලතා පීඩනයන් යළි ඇති වුවහොත් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදුවිය හැකි බවද S&P Global Ratings අනතුරු අඟවනවා.
අනෙක් අතට, රජයේ ආදායමට සාපේක්ෂව පොලී වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම, විදේශ ණය තත්ත්වය තවදුරටත් ශක්තිමත් වීම සහ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ ශුද්ධ ණය වැඩිවීම අඛණ්ඩව 3%ක පමණ මට්ටමක පවත්වා ගැනීම වැනි සාධක මත ඉදිරියේදී ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් ඉහළ නැංවීමට හැකි බවද එම ආයතනය සඳහන් කර තිබෙනවා.