මේ අයවැයෙන් ආණ්ඩුව කඩා වැටෙනවා – එස්.එම් මරික්කාර් කියයි

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය ජනතාව මුළා කරන ළමා සුරංගනා කතාවක් බඳු එකක් බවත්, එය අවසානයේ ආණ්ඩුව කඩාවැටීමට හේතුවන අයවැයක් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කරයි.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රකාශයන් දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

පසුගිය වසරවල අයවැය ලේඛන මඟින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නේවාසික වීසා ලබාදීමේ වැඩපිළිවෙළට සිදුවූයේ කුමක්දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත්කිරීමට යැයි පවසමින් බේරේ වැව සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 250ක් පසුගිය වසරේදී ද වෙන් කළ බව සිහිපත් කළ හෙතෙම, මෙවරත් එම යෝජනාවම ඉදිරිපත් කළ ද කොළඹ නගරය සුළු වැස්සකදී පවා බේරේ වැව පිටාර ගලා යටවී යන තත්ත්වයට පත්ව ඇති බවත්, මුදල් වෙන් කළාට බිම් මට්ටමේ කිසිදු සංවර්ධනයක් සිදුව නොමැති බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය ප්‍රශ්න කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුව මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 8.2 දක්වා වර්ධනය කරගත යුතු බවයි.

“දැන් විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්නා විට ඩොලරයේ අගය ඉහළ යනවා. එසේ නම් ආණ්ඩුව මේ කියන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඩොලර් සපයා ගන්නේ කෙසේද? යළිත් ණය ගන්නවාද, නැතහොත් වෙළෙඳපොළෙන් ඩොලර් අදිනවාද?” යැයි හෙතෙම විමසා සිටියේය.

ආණ්ඩුවේ අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම උපහාසාත්මකව විවේචනය කළ මන්ත්‍රීවරයා, මෙය කුඩා දරුවන්ට චොකලට් කෑලි බෙදන්නාක් මෙන් හෝ රුපියල් සියයක් ගෙන හැමෝටම රුපියල රුපියල බෙදා සතුටු කිරීමට දරන උත්සාහයක් බඳු බව පැවසීය. උපයන සෑම රුපියල් 100කටම රුපියල් 40කට අධික මුදලක් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති පසුබිමක, රටේ සැබෑ නිෂ්පාදන ආර්ථිකය දියුණු නොකර පිටකොටුව පාට කිරීම වැනි මතුපිට ඔප දැමීම්වලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *