සිවුර සම්බන්ධ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරී ක්රියාවල සහ රට අස්ථාවර කිරීමේ උත්සාහයන්හි නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එවැනි පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් යොදවා තොරතුරු සොයා බලමින් සිටින බව සඳහන් කළ අමාත්යවරයා, එවැනි ක්රියාවන්ට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව ද අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ජනතාවට නිදහසේ උද්ඝෝෂණ සහ පාගමන්වල නිරත වීමට ඇති අයිතියට රජයෙන් කිසිදු බාධාවක් සිදු නොකරන බව ද ඔහු පැවසීය. එම අයිතිය ආරක්ෂා කරන බව සඳහන් කළ අමාත්යවරයා, වත්මන් රජය යටතේ දිනක් දෙකක් පමණක් නොව වසර දෙක තුනක් වුවද ජනතාවට අන් අයට බාධාවක් නොවන අයුරින් සාමකාමීව වාඩි වී විරෝධතාවල නිරත විය හැකි බව ප්රකාශ කළේය.
චීවරය සම්බන්ධ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කර අවශ්ය ක්රියාමාර්ග ගෙන ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේය. එහෙත් අධිකරණය ලබාදුන් තීන්දු හා නියෝගවලට පටහැනිව ජනාධිපතිවරයා කටයුතු නොකරන බව ද ඔහු අවධාරණය කළේය.
පසුගිය කාලයේදී නීතියට පටහැනිව ලබාදුන් ජනාධිපති සමාවන් අධිකරණය විසින් අහෝසි කරනු ලැබූ අවස්ථා ද අමාත්යවරයා මෙහිදී සිහිපත් කළේය.