මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නලයක් එලීමේ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් අද (02) ඇරඹීමට නියමිතයි.
මෙම නළ මාර්ගය කිලෝමීටර් 21 ක දිගකින් යුක්ත වනවා.
මේ අතර, ඝන මීටර් 40,000ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද (02) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75ක මුදලකට පිරිනැමීමට පසුගිය 21 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
මෙම සෘජු නළ මාර්ගය ස්ථාපිත වීමත් සමග, අතරමැදි බාධාවලින් තොරව, ආරක්ෂිතව සහ අඩු මෙහෙයුම් පිරිවැයකින් ගුවන්තොටුපොළ වෙත අඛණ්ඩව ගුවන් ඉන්ධන සැපයීමේ හැකියාව රටට හිමිවනවා.
එමෙන්ම, ගුවන්තොටුපොළ තුළ ඉන්ධන සංචිත රඳවා ගැනීමේ ධාරිතාව පුළුල් වීම හරහා ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්රය තුළ කටුනායක ගුවන්තොටුපොළේ විශ්වාසනීයත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලශක්ති අංශ අපේක්ෂා කරයි.