ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල විදේශ විනිමය අවදානම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්රවල පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින් දිගුකාලීන රුපියල් මූල්‍ය පහසුකම් පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ආසියාවේ මෙවැනි පළමු ගනුදෙනුව ලෙස ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC ශ්‍රී ලංකා බැංකුව අතර වසර 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ලබා ගැනීමේ පහසුකමක් ස්ථාපිත කර ඇති බවයි ලෝක බැංකුව අද (26) නිවේදනය කළේ.
ස්ථාවර පොලී අනුපාතයක් යටතේ ක්‍රියාත්මක මෙම මූල්‍ය පහසුකමේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 05කට සමාන වන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ මෙවැනි පළමු ණය පහසුකම ද වනවා.
මෙම මූල්‍ය පහසුකම සහ ලෝක බැංකු සමූහය විසින් සම්පාදනය කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් උපයෝගී කර ගනිමින් මෙරට ප්රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 10කට සමාන වටිනාකමකින් යුත් රුපියල් ණයක් වසර 10ක කාලයක් සඳහා ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙතෙක් ලබාදී ඇති දීර්ඝතම කාලසීමාවක් සහිත ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම මෙන්ම, යටිතල පහසුකම් ක්ෂේත්රය සඳහා රුපියල්වලින් ලබාදෙන පළමු ණය පහසුකම ද වනවා.
එමෙන්ම, මෙරට ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්රයේ සිදුකරන පළමු ආයෝජනය ද මෙයයි.
දේශීය ව්‍යාපාරවලට තමන් ආදායම් උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබා ගැනීමට අවස්ථාව සැලසීම හරහා විනිමය අනුපාත උච්චාවචනයන්ගෙන් ඇතිවන අවදානම අවම කිරීමට හැකි බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.
ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාර සේවා අධ්යක්ෂ කේෂව් ගෞර් සඳහන් කළේ, දිගුකාලීන දේශීය මුදල් මූල්‍ය පහසුකම් ලබාදීම තුළින් ව්‍යාපාරික ආයෝජන පුළුල් කිරීමට, ආර්ථික වර්ධනයට සහ නව රැකියා අවස්ථා බිහිකිරීමට හැකිවන බවයි.
මේ අතර, HSBC ශ්‍රී ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් සඳහන් කළේ, මෙරට ව්‍යාපාරවල විදේශ විනිමය අවදානම කළමනාකරණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන අරමුණු සඳහා සහාය වීමට මෙම හවුල්කාරිත්වය ඉවහල් වන බවයි.
පසුගිය දශකය තුළ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ලොව පුරා මුදල් ඒකක 71ක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 33කට අධික දේශීය මුදල් මූල්‍යකරණයක් සඳහා කැපවී ඇති බව ද ලෝක බැංකුව සඳහන් කළා.